Principal’s Message
මනුෂ්‍යයෙකු වීම බයිබලය තුළින්
තේරුම් ගැනීම
මනුෂ්‍යකේ වීමේ තේරුම කුමක්ද? මෙය අපගේ යුගයේ වඩාත්ම දැවෙන ප්‍රශ්නයයි.
‘මනෝවිද්‍යාත්මක වර්ගීකරණ සහ ඇතුළාන්තය වෙත යොමුවීම නූතන පුද්ගලයාගේ සුවිශේෂි ලක්ෂණයකි’ යන අදහස ආන්දෝළනාත්මක ලෙස ලෝකය වෙනස් කරමින් පවතී. ඉන්, ‘විකාශිත පුද්ගලවාදය’ නැමැති නවතම සංසිද්ධිය හරහා, උදාහරණයක් ලෙස, ‘කෙනෙක් පාසල, දේවස්ථාන වැනි ආයතන වලට යන්නේ රඟන පිණිස මිස හැදෙන පිණිස නොවේය’ වැනි අදහස් ඉදිරියට රැගෙන විත් ඇත. පුද්ගල සහභාගිකත්වය අගයන පොදු ප්‍රජාවක් ලෙස තේරුම්ගෙන තිබුණු සංස්කෘතිය මේ වන විට කණපිට හැරී ඇත. නූතන මනුෂ්‍යයෙකු වීමේදී, ඒක පුද්ගල විශ්වාසයන් සහ රුචිකත්වයන් වලට ප්‍රමුඛස්ථානය ලැබී ඇති බැවින්, සම්ප්‍රදායන් සහ ආයතන වලින් අපේක්ෂා කරන්නේ, හුදෙක් ඒක පුද්ගල විශ්වාසයන් තහවුරු කර ඊට අනුරූප වීමය (Carl Trueman, The Rise and Triumph of the Modern Self).
අනන්‍යතාව පිළිබඳ අපගේ අවිනිශ්චිතභාවයට මුල් වන මෙම වෙනස, නිතැතින්ම, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය පිළිබඳ අපගේ චින්තනයේ විශාල කැලඹීම් ඇති කර ඇත. පුරුෂයින් සහ ස්ත්‍රීන් ලෙස ලිංගභේදය ගැන කතා කිරීමේ සිට, ගණන් කළ නොහැකි තරම් ලිංගභේද තිබිය හැකිය යන අදහස දක්වා අද අපි වෙනස් වී ඇත. ලිංගිකත්වය ගැන කතා කිරීමේදී, ඔහුට හෝ ඇයට හිතෙන අන්දමට, හොඳ සහ නිවැරදි ලිංගික හැසිරීම් මොනවාදැයි තීරණය කිරීම එක් එක් පුද්ගලයාට භාර දී ඇත.
විද්‍යාවේ සහ තාක්‍ෂණයේ පෙරළිකාර දියුණුවත් සමඟ, මනුෂ්‍යයෙකු වීමේ අදහස තේරුම් ගැනීමේදී සමාජය වෙනත් අභියෝගවලට මුහුණ දෙයි. මෙතෙක් අපගේ තාවකාලික ශරීර සහ මනස විසින් සීමා කර තිබූ ප්‍රමාණයෙන් ඔබ්බට ජීවත් වීමට සහ ක්‍රියා කිරීමේ මාර්ග සැපයීමට සංක්‍රාන්තිමානවවාදී (transhumanist) තාක්ෂණයට හැකියාව තිබිය හැකිද? සංක්‍රාන්ති මානවවාදී න්‍යායන් ‘මනස රෝපණ කිරීම’ සහ ඉලෙක්ට්‍රොනික පෙත්තක් ආශ්‍රයෙන් සදාකාලයට ජීවත් වීමේ හැකියාව දක්වා විහිදේ. ඊළඟට මෑතක සිට කෘතිම බුද්ධිය පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතින අතර, ජනක බුද්ධිය, අප මෙතෙක් දැන සිටි, මනුෂ්‍යයාව අනුකරණය කරමින් ප්‍රතිස්ථාපනය කිරීම හේතුවෙන්, එය ඉක්මනින්ම මිනිසාගේ පාලනයෙන් ගිලිහී යාමට ඉඩ ඇත.
තම පරිකල්පනයෙන් ආරම්භ වන, කිසිදු බයිබලීය පදනමක් නොමැති උත්කෘෂ්ට ප්‍රකාශන කරන දේශකයින් තුළින් පෙනී යන්නේ, ‘විකාශිත පුද්ගලවාදය’ නිරපේක්ෂ කිරීමට සභාවද ගොදුරු වී ඇති බවය. එවැනි කෙනෙක් ‘ඔබ ඔබේ ජීවිතය නැවතත් විධාකේතනය කර, ඔබ කතා කරන වචන වලින් ඔබේ අනාගතය නිර්මාණය කර ගත යුතුය’යි පවසා ඇති අතර, තවත් කෙනෙක් කියන්නේ හෙතෙම ස්වර්ගීය දේවදූතයන්ට අණ කරන්නේ, තම පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන් බවය!
මිනිසා පිළිබඳ පළමු සඳහනෙන්ම, බයිබලය මෙම අද්විතීය ජීවියාව වෙන්කර තබන සාධකය තහවුරු කරයි: අපව මවන ලද්දේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්ය. ‘දෙවියන් වහන්සේගේ ස්වරූපය’ යන්නෙන්, මිනිසුන් තම මැවුම්කාර දෙවියන් සමඟ කෙතරම් සමීපව සම්බන්ධ වේද යන්නත්, දෙවියන්වහන්සේගේ අතිවිශාල හා සුන්දර ලෝකය තුළ උන්වහන්සේගේ නියෝජිතයන් ලෙස මිනිසුන්ට ඇති වගකීමත් අවධාරණය කරයි. පාපිෂ්ඨ කැරලිකාරත්වය නිසා නරක් වී විරූපී වුවද, දෙවියන් වහන්සේ තම රූපය දැරූ මනුෂ්‍ය වර්ගයා පහ නොකර, මුදවා ගැනීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළ සේක.
දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මෙළොව පහළ වීම, දෙවියන් වහන්සේ සැලසුම් කර පවරූ අන්දමට මනුෂ්‍යත්වයේ අඛණ්ඩ ‘යහපත්කම’ තීරණාත්මක ලෙස තහවුරු කරයි. යේසුස් වහන්සේ කන්‍ය මරියා තුළින් උපත ලබමින්, සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙක් වී, මවන ලද ස්වභාවයට ආවේනික ප්‍රීතිය සහ සීමා යන දෙකම අත්විඳිමින් වැඩිහිටි විය දක්වා ජීවත් විය. පාපයෙන් තොර වීම උන්වහන්සේ සහ අප අතර වූ එකම වෙනස්කමය.
ඒ අනුව, ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවීමේ මරණය සහ ශාරිරික නැවත නැගිටීම, බිඳුණාවූ මනුෂ්‍යත්වය මුදවා ගැනීමට සහ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සම වන තෙක්, සෑම පුද්ගලයෙක් තුළම ඇති දෙවියන් වහන්සේගේ ස්වරූපය යළි ප්‍රකෘති තත්වයට ගෙන ඒමටත් මාර්ගය විවර කරන ලදි.
අපව සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය කිරීම කවදත් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වි තිබුණී. එහෙත්, ඒ මනුෂ්‍යත්වයේ සිට සංක්‍රාන්තිමනුෂ්‍යත්වයකට හෝ පාපිෂ්ඨ මනුෂ්‍යත්වයේ සිට අර්ධ දේවත්වයකටවත් නොවේය. මුළ සිටම අපව, පාපය නිසා හීන වූ මනුෂ්‍යත්වයේ සිට, උන්වහන්සේගේ මුදවාගැනීමේ බලයෙන් සහ සමාවීමේ අනුග්‍රහයෙන්, තේජාන්විත හා සම්පූර්ණ මනුෂ්‍යත්වය දක්වා වෙනස් කිරීම දෙවියන් වහන්සේගේ සැලැස්ම විය.
අයිවෝ පූබාලන්
අප්‍රේල් 2024