Principal’s Message

දිරිගැන්වීමේ සේවය සහ

සභා වර්ධනයේ දෙවන රැල්ලක්?

“ දිරි ගැන්වීම අපව ජීවත් කරවයි, එය නොමැතිව අප සෙමින්, කනගාටුදායක ලෙස, කෝපයෙන් මිය යන්නෙමු" (සෙලෙස්ට් හෝම්)

“දිරි ගැන්වීම ආත්මයට ඔක්සිජන් හා සමානය” (ජෝර්ජ් ඇඩම්ස්)

විහිලු සහගත කියමන් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ, ඇමෙරිකානු ජාතික කතුවරයෙක් වූ මාක් ට්වේන්, වරක් මෙසේ පවසා ඇත: “හොඳ ප්‍රශංසාවක් මත මට මාස දෙකක් ජීවත් විය හැකිය." දිරි ගැන්වීමේ වචන හෝ ක්‍රියා කිසිසේත් අමතක නොවනු ඇත. තොටිල්ලේ පටන් සොහොන දක්වාම අපි දිරිගැන්විමට ආශා වනවා පමණක් නොව, ඒ කෙරෙහි පිපාසා ඇත්තෙමු. දිරිගැන්වීම අපට ඉතා ලෙහෙසියෙන් ලබා දිය හැකි ත්‍යාගයක් වුවද, එය පුරුද්දක් හැටියට බෙදා ගන්නේ ඉතා ස්වල්ප දෙනෙක් වීම කණගාටුවට කරුණකි. බොහෝ දෙනෙක් සිතා සිටින පරිදි, දිරි ගැන්වීම අපගේ දිවි ගමනට ආදේශ කරගත හැකි අමතර දෙයක් නොව; එය අපගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයකි. මෙය වැඩිපුර දක්නට ලැබෙන තැනක් වේද, එතැන සිටින පුද්ගලයන් සහ සමාජය තුළ සවිමත් සහ සුව සම්පන්න වර්ධනයක් දක්නට ලැබෙනු නොඅනුමානය.

පළමු කිතුනු පරම්පරාව යුදයෙන් අවතැන්වූ විට, සමහරෙක් සැතපුම් 100ක් පමණ උතුරු දිශාවේ පිහිටි අන්තියෝකිය දක්වා ගමන් කළෝය. උද්යෝගිමත් එවැන්ජලිස්තවරුන් වූ ඔවුහූ, හමු වන හැම කෙනා සමඟම, අන්‍යජාතීන් සමගත් (මුල් වරට), ශුභාරංචිය බෙදා ගත්හ. අන්‍යජාතීන් “බොහෝ දෙනෙක්” ස්වාමින්වහන්සේ වෙතට හැරුනු බව ලූක් තුමා වාර්තා කරයි. මෙය අන්තියෝකියේ ධර්මදානී සභාවේ කතන්දරයට ඇතුළත් වූ, පළමුවෙනි සභා වර්ධන රැල්ල ලෙස මම සලකමි (ක්‍රියා 11:19-21).

එහෙත්, දෙවෙනි රැල්ලක්ද විය. මේ සඳහා සභාවට දෙවෙනි ප්‍රගමනයකට මුල පුරන්නට සිදුවිය.

අන්‍යජාතීන් විශාල සංඛ්‍යාවක් ඇද්හිල්ලට හැරී ඇති බව, යෙරුසලමේ අපෝස්තුලුවරුන්ට දැන ගන්නට ලැබුණු විට, ඔවුන් අතිශයින් වැදගත් තීරණයක් ගත යුතු බව ඔවුනට වැටහුණි. ඕනැම යුදෙව් පසුබිමකින් එන කෙනෙකුට මොවුන් වනාහි, ඓතිහාසිකව ‘පිටස්තරයින්’ විය. මේ නව යථාර්තයට ඔවුන් මුහුණ දුන් ආකාරය. සභා ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළේය. මෙසියස් වහන්සේගේ ප්‍රජාව තුළට එම “නුසුදුස්සන්” ඇතුළත් කර ගැනීම ගැන, මේ වනවිටත්, යුදෙව් ඇදහිලිවතුන් මැසිවිලි නැඟවාවත්ද? යුදයේ ‘සම්ප්‍රදායික’ කිතුනුවන් ඒ වනවිටත් අන්තියෝකියේ ‘නවක’ සභාවන් වලට රිදවන සුළු අදහස් මුදා හැරියාවත්ද?

මේ නිසා, ඔවුන් ඒ වනවිට සිටි, විශිෂ්ඨතම අපෝස්තලික නියෝජිතයින්ව පිටත් කර යැව්වෝය. ඒත් ඒ පේතෘස්වත් යාකොබ්වත්, ප්‍රේමණීය ගෝලයා වූ යොහන්වත් නොවීය. ඒ කලක් තිස්සේ “දිරි ගන්වන පුත්‍රයා” ලෙස හැඳින්වූ බාර්ණබස් විය! ලූක් පවසන අන්දමට, බාර්ණබස් අන්තියෝකියට පැමිණ, එහි දෙවියන් වහන්සේ කරන වැඩය දැක, “ප්‍රමෝදවත්ව, ඔවුන් ධෛර්යවත් කරමින්, තමන්ගේ මුළු හදින් ස්වාමින්වහන්සේට විශ්වාසවන්තව පැවත සිටින ලෙස අවවාද කරන ලදි” (ක්‍රියා 11: 23). ඔහුගේ දිරිගැන්වීමේ මෙහෙයේ බලපෑම මහත් විය. එය අන්තියෝකිය සභා වර්ධනයේ දෙවෙනි රැල්ල දියත් කිරීමට සමත් විය: “ඔහු, ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ ගුණවත් මනුෂ්‍යයෙකි. මෙසේ ජනයාගෙන් ඉතා විශාල පිරිසක් ස්වාමින්වහන්සේ වෙතට ගෙනෙන ලදහ” (ක්‍රියා 11:24).

හැත්තෑව සහ අසූ වන දශකයන්හි ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට උත්සුක වූ එවැන්ජලිස්තවරුන් පරපුරක් ස්වාමින්වහන්සේ විසින් ඔසවන ලදි. ඔවුන්ගේ ස්වදේශීය සහ පුරෝගාමී උත්සාහයන් ගෙන ආ කැපී පෙනෙන ප්‍රතිඵල මොන තරම්ද කිවහොත්, වසර සියයක් තිස්සේ පසුබෑමකට ලක්ව තිබුණු ශ්‍රී ලාංකීය සභාව, ජණගහණය වර්ධනය වූ වේගයෙන්ම වර්ධනය වන්නට විය. කෙසේ වෙතත්. අන්තියෝකියේ කතන්දරය මෙන් නොව, ශ්‍රී ලංකාවේ සිදුවූ එම ක්ෂණික වර්ධනය එතරම් අවධානයට ලක් වූයේ නැත; එම ආරංචිය ඇසිමට ‘යෙරුසලමක්’ වත්, දෙවෙනි රැල්ලකට නායකත්වය දෙන්නට ‘බාර්ණබස්’ කෙනෙක්වත් නොවීය. ඉන්පසුව, අප්‍රමාණවත් ගෝලත්ව පුහුණුව සහ ඉගැන්වීම්, පවුල්වල සහ ආර්ථිකයේ දෛනික අරගල, සභාව තුළ ඇතිවූ සිත් රිදීම් සහ ගැටුම්, පීඩා කාලයන් සහ වැරදි ඉගැන්විම් කිසා ඇතිවූ විනාශකාරී ප්‍රථිඵල වැනි සියලු කාරනා ඒ්කරාශීවීම නිසා සභාව නාස්ති විය. එම “ආත්මයට ඔක්සිජන්” නොමැතිව සභාව භයානක ඉරණමකට මුහුණ දෙමින් පවතී.

ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි, “ ‘අද ය’ කියන තාක්, එකිනෙකා ධෛර්යවත් කරන්න” (හෙබ්‍රෙව් 3:13) නම් ආඥාව බැරෑරුම් ලෙස සිතට ‌ෙෙගන, අපගේ නිකායන් තුළට, සභාවන් තුළට සහ ගෝලත්ව කණ්ඩායම් තුළට, උවමණාවෙන්ම දිරිගැන්වීමේ සේවාව මුදා හැරීමටකාලය පැමිණ ඇත.

පරක්කු වී හෝ අප කීකරු වූයේ නම්, මීළඟ සභා වර්ධන රැල්ල ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් දියත් කිරිමට එය හේතුවක් වන්නට ඉඩ ඇත්දැයි කවුද දන්නේ?

අයිවෝ පූබාලන්,
දෙසැම්බර් 2024