කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ අවශ්‍යතාවය

මේ අපගේ 30 වන සංවත්සරයයි. ශ්‍රී ලංකාවේ සභා නායකයින්ව, දේවධර්මයෙන් සන්නද්ධ කරනු වස් කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ දොරවල් විවර වූයේ 1994 වසරේ මැයි 31 වනදාය. එය කාගේත් සිත් ගන්නා කතන්දරයක් බව මා කිය යුතුය. එදා එක ශිෂ්‍ය මධ්‍යස්ථානයකින් ආරම්භ වූ අතර, අද වනවිට එය මධ්‍යස්ථාන දහයක් දක්වා වර්ධනය වී ඇත; එදා සිටියේ සිසුන් 40ක් වුවත්, අද වන වටි සිසුන් 800 ක් පමණ ඉගෙන ගනිමින් සිටිති; 1997 දී සිසුන් 17 කින් සමන්විතව තිබුණු උපාධිධාරී පන්තිය, 2023 වන විට ආදි ශිෂ්‍යයින් 824 දක්වා වර්ධනය වී ඇත!

මැයි සිට ජූලි දක්වා පැවැත්වුණු උත්සවයන් වලින්, ශාස්ත්‍රාලයේ වර්ධනය පිළිබඳ මෙම අපූරු දර්ශක අපි ප්‍රීතියෙන් සැමරුවෙමු. කෙසේ වෙතත්, මම තවමත්, ‘ඒත් ඇයි?’ කියන ප්‍රශ්නය අසන්නෙමි. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය අවශ්‍ය වන්නේ ඇයි? ඉදිරි වසර 30 සඳහා කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය අවශ්‍ය වන්නේ ඇයි? කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය අවශ්‍යතාවය පිළිබඳව මම දකින හේතු කිහිපයක් මෙහි සඳහන් කරන්නට කැමැත්තෙමි:

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය අවශ්‍ය වන්නේ සුභාරංචිය අවශ්‍ය නිසාය

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය ගමනාන්තය නොවේය. දේවධර්ම අධ්‍යාපනය තිබෙන්නේ, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ශ්‍රී ලංකාව තුළත්, සියළු ජාතින් අතරේත්, ප්‍රකාශ කිරීම සඳහා සභාවට සේවය කරන පිණිසය. මෙම උද්යෝගය බෙදාගත් පුරුෂයින් සහ ස්ත්‍රීන් එහි නිර්මාතෘවරයන් විය. ලෝකයට කිතුනු දහම ගෙන යෑමේ කැඳවීම තව දුරටත් රැගෙන යෑම අපගේද උනන්දුව බැවින්, විශිෂ්ඨ දේවධර්ම අධ්‍යාපනය යුගයේ අවශ්‍යතාවයයි.

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය අවශ්‍ය වන්නේ සභාව අවශ්‍ය නිසාය

නයිසින් ඇද්හිල්ලේ ක්‍රමය පවසන ආකාරයට, අප විශ්වාස කරන්නේ එකම, ශුද්ධ, කතෝලික සහ අපෝසතලික සභාවය. මුළු ශ්‍රී ලාංකේය සභාවම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සහ මනාලිය ය. මේ නිසා, කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය, සියළු කිතුනු සම්ප්‍රදායන් වලට ගරු කරන සහ ඕනැම කිතුනු නිකායක ඇදහිලිවන්තයින්ව සාදරයෙන් පිළිගන්නා තැනකි. මුළ පටන්ම, අපව බෙදන වෙනස්කම් පසෙකලා, අපගේ විවිධත්වය වැළඳගෙන, ක්‍රිස්තුස් වහන්සේ තුළ, අපි සියල්ලෝම එක අරමුණක සිටිනවා යයි ප්‍රදර්ශනය කිරීම කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ වෑයම විය!

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය අවශ්‍ය වන්නේ බයිබලය අවශ්‍ය නිසාය

කිතුනු එකමුතුභාවයට අප කැපවී සිටින්නේ, ශුද්ධ ලියවිල්ලේ අධිකාරිත්වයට අප තුළ ඇති කැපවීම කරණකොටගෙනය. වෙන විදියකට කියනවා නම්, ක්‍රිස්තියානි එකමුතුකම ගැන අපට ඇති දර්ශනය සුභාරංචි සේවයට එකමුතුවීමේ දර්ශනයකි: අප විශ්වාස කළ යුතු සහ ජිවත් විය යුතු අන්දම ගැන අපට මඟපෙන්වන පරම අධිකාරිය දේව වචනයය (බයිබලය) යන විශ්වාස වටා බැඳුණු එකමුතුකමකි.

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය ආරම්භ කරන ලද්දේ, ශුද්ධ ලියවිල්ල ඉගැන්වීමටය. මන්ද, වසර ගණනාවක් තිස්සේ දෙවියන් වහන්සේගේ වචනය ලෙස, බයිබලයේ විශ්වසනීයත්වය සහ සෑහීම ගැන ගෝලීය සභාව තුළ විශ්වාසය පළුදු වී තිබුණි. ශ්‍රී ලාංකේය සභාව නැවත වතාවක් වර්ධනය වන්නට නම්, බයිබලය කෙරෙහි වූ විශ්වාසය යථා තත්ත්වයට පත් කර, පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය විය.

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය අවශ්‍ය වන්නේ කිතුනු මිත්‍රත්වයන් අවශ්‍ය නිසාය

එදා කිතුනු දේව රාජ්‍යය වහ වහා පැතිර ගියේ, කිතුනු මිත්‍රත්වයන් නිසාය යන කාරණය බොහෝ විට ක්‍රිස්තියානි ඉතිහාසයේ නොසලකා හරින ලද කරුණු වලින් එකකි. යේසුස් වහන්සේ වරක් තම ගෝලයින් දෙසට හැරී ඔවුන්ට මෙසේ පැවසූ ‌සේක: ‘ඔබ මාගේ මිත්‍රයින්ය.’ ලෝකය වෙනස් කිරීමේ උන්වහන්සේගේ මෙහෙවර රඳා පැවතියේ, 'මිතුරන්' ලෙස යේසුස් වහන්සේ හැඳින්වූ පුද්ගලයන් අතලොස්සක් මත ය.

දිනක එවැනි මිත්‍රත්වයන් ලෝකය වෙනස් කරන්නට ඉඩ ඇති බැවින්, අපගේ ක්‍රිස්තියානි මිත්‍රත්වයන් අප ප්‍රවේසමෙන් ආරක්ෂා කරගත යුතු යයි කෙනෙක් පවසා ඇත. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය තුළදී ශිෂ්‍යයන් ආරම්භ කරන කළ්‍යාණ මිත්‍රත්වයන්, දෙවියන් වහන්සේගේ අතේ බලවත් මෙවලම් වන්නට ඉඩ ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය අවශ්‍ය වන්නේ උරුමය අවශ්‍ය නිසාය

තම අවසාන ලිපියේ පාවුල් තුමා තිමෝතිට මෙසේ පවසයි: ‘බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියෙහි ඔබ මගෙන් අසා දැනගත් දේ, අන්‍යයන්ට ඉගැන්වීමට හැකි, විශ්වාසවන්ත පුද්ගලයන්ට පවරා දෙන්න’ (2 තිමෝති 2:2). පාවුල් තුමා තම ක්‍රිස්තු මෙහෙවර භූගෝලියව ඉදිරියට ගෙන යෑමට අවස්ථා සොයමින් සිටියදීම, සුභාරංචි පණිවිඩය තිමෝති වැනි තරුණ නායකයින්ට පාරම්පරිකවත් පතුරුවන්නට කටයුතු කරන ලදි.

මේ කඩඉම සැමරීමේදී පසුගිය වසර 30ක කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ ඉතිහාසය දෙස බැලීම පමණක් ප්‍රමාණවත් නොවීය: ඉදිරි වසර 30 ක අනාගතය දෙස ද දෑස් දල්වා බැලීම ද අවශ්‍ය විය. අපගේ උරුමය දෙස චේතනාත්මකව බලද්දීම, අනාගතයට ආයෝජන කරමින්, දෙවියන් වහන්සේගේ වැඩය කරගෙන යන පිණිස ඊළඟ පරම්පරාවට භාර දීමත් අත්‍යවශ්‍ය ය. ඔවුන් අපගේ උරුමයයි.

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය, දෙවියන් වහන්සේගේ උවමණාව වූ සුභාරංචිය, බයිබලය සහ සභාව උදෙසා කිතුනු මිත්‍රත්වයන් තුළින් සහ අපගේ දිව්‍යමය උරුමය වෙත සේවය කරන්නට අවශ්‍ය යයි ( අදට පමණක් නොව, තව දශක ගණනාවකටම) මම තදින්ම විශ්වාස කරන බව, ඔබට දැන් පෙනි යනවා ඇත.

කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය සමඟ එක්ව සිටීම ගැන ඔබට ස්තුති කරමි. දැන් අපි එකට ඊළඟ වසර තිහ සඳහා දේව කැමැත්ත තේරුම් ගැනීමට උත්සාහ කරමු!

අයිවෝ පූබාලන්, PhD
2024, ඔක්තොම්බර් 1